විදුලි ව්‍යාපෘතියකට අදාළ රජයේ වාර්තා වසර ගණනාවක් ප්‍රමාද වීමෙන් මෙරට තුළ අඩු පිරිවැයකින් ජනනය කළ හැකි ජල විදුලි නිෂ්පාදනයට බාධා එල්ල වූ පුවතක් වාර්තා විය.
ඒ, කිතුල්ගල, පොල්පිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙනි.
මෙරට අවසන් ජල විදුලි බලාගාරය ලෙස බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2013 දී ඇරඹෙන්නේ, ලක්ෂපාන සංකීර්ණයේ ද අවසන් ජල විදුලි බලාගාරය ලෙසය.
පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙම බලාගාරයේ විදුලි ජනනය 2022 දී ආරම්භ විය.
දෛනිකව මෙගාවොට් 35ක විදුලිය නිෂ්පාදනයක් කරන මෙම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව අපේක්ෂා කරන ගිගාවොට් පැය ගණන 126කි.
ආරම්භයේ දී ක්‍රමානුකූලව ක්‍රියාත්මක වූ මෙහි ජල විදුලි ජනනයට මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.
ඒ, කැලණි ගඟෙහි අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ ජලය ලබාගැනීම සම්බන්ධයෙන්ය.
කෙහෙල්ගමු ඔය හරස් කොට අමුණක් ඉදිකර එතැන් සිට මීටර් 810ක් දිග භූගත උමං මාර්ගයක් ද නිර්මාණය කෙරුණේ, ඔයේ ජලය බ්‍රෝඩ්ලන්ඩ් වේල්ල දක්වා රැගෙන යාමටය.
නමුත් විදුලිබල මණ්ඩලය මෙම ඉදිකිරීම් පෞද්ගලික වතු සමාගමක් වන කළුගල වතුයායට අයත් භූමියක ස්ථාපිත කර තිබේ.
2015දී අදාළ භූමිය විදුලිබල මණ්ඩලය වෙත පවරා ගැනීම සඳහා එකඟත්වය පළ වුවත් කළුගල වතුයායේ වත්මන් හිමිකරුවන් චෝදනා කරන්නේ, ඊට අදාළ කිසිදු මුදලක් මෙතෙක් ලබාදීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන නොමැති බවයි.
මේ හේතුවෙන් කෙහෙල්ගමු ඔයේ අමුණට පිවිසෙන මාර්ගය පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිට ගේට්ටු යොදා කිසිවෙකුටත් ඇතුළත් වීමට නොහැකි වන ලෙස වසා දැමීමට වතු හිමිකරුවන් පියවර ගෙන ඇත.
කළුගල වතුයායේ භාරකරු පවසන පරිදි අදාළ උමං මාර්ගය අවහිර වීමෙන් අපේක්ෂිත විදුලි ජනනයට බාධා එල්ල වන්නේදැයි අපි සොයා බැලුවෙමු.
ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරුවරුන් අද දෙරණට පැවසුවේ, උමං දොර අවහිර වීමක දී වේල්ල දක්වා පැමිණෙන ජල ප්‍රමාණය අඩු වී ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය අඩු විය හැකි බවය.
එම තත්ත්වය වර්ෂා සමයේ දී ඉහළ යන බව ද ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරුවරු ප්‍රකාශ කළහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය කමල් ලක්සිරි මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
ඔහු පැවසුවේ, හැරවුම් උමඟේ උපරිම ධාරිතාව තත්ත්පරයට ඝන මීටර් 20ක් වන අතර, වැසි සමයේ කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් එම ප්‍රමාණයට වඩා වැඩිවන නිසා හැරවුම් උමඟේ වේල්ල හරහා උතුරා යාම සාමාන්‍ය දෙයක් බැවින් ජනනය කෙරෙන විදුලි ඒකක ප්‍රමාණයේ අඩුවක් සිදුනොවන බවය.
එමෙන්ම කළුගල වතුයායේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රතිචාර දැක්වූවේය.
කමල් ලක්සිරි මහතා පැවසුවේ, ඉඩම පවරාගැනීමට අදාළ රජයේ තක්සේරුව 2016 සිදුකර තිබුණත් තමාට එය ලැබුණේ වසර 2022 වසරේදී බවය.
එමෙන්ම ඊට අදාළ නීතිමය බාධා සොයාබැලීමට අදාළ වාර්තාව සඳහාත් මාස 08කට වැඩි කාලයක් ගතවූ බවත් මේ වනවිට එම වාර්තා 02කම තමාට ලැබී ඇති බවත් ඔහු පැවසීය.
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය කමල් ලක්සිරි මහතා පැවසුවේ, ඉදිරියේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ වාර්තා ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගන්නා බවය.
රටට වැඩදායි මෙවැනි ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතන වසර ගණනාවක් කල්මරන්නේ, නම් ඉන් රටට සිදුවන පාඩුව සුළු පටු නොමැත..