පෙත්සම් 12ක් යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

බුද්ධි තොරතුරු තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව එම පෙත්සම් සැප්තැම්බර් 15 වැනිදා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කර ඇති වන්දි මුදල් ගෙවා ඇති ආකාරය සහ ඊට අදාළ අනෙකුත් කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම් යළි කැඳවනු ලැබේ.

අදාළ වන්දි මුදල් ගෙවා ඇති ආකාරය, ඉතිරි මුදල ගෙවීමට ඇති හැකියාව සහ ගෙවන ආකාරය ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලයෙන් ලැබුණු තොරතුරු මත ඊට අදාළ වන්දි මුදල සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෝසමක් ද ගොනු කර තිබෙනවා.

මෙම සියලු යෝජනා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් යළි කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීරණය කර ඇත.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ජනවාරි 12 වැනිදා තීන්දු කළේය.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළ තීන්දුවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙසද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කෙරුණා. සෑම. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙසයි නියෝග කෙරුණේ.

එදින සිට මාස හයක් ඇතුළත අදාළ වන්දි මුදල් ගෙවන ලෙසට ඔවුන්ට නියෝග කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් රුපියල් මිලියන 15 ක් ගෙවූ අතර ඉතිරි රුපියල් මිලියන 85 ක වන්දි මුදල රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ගෙවීමට අවසර දෙන ලෙස මෝසමෙන් ඉල්ලා තිබිණි.

2024 ජූනි 30 සිට 2033 ජූනි 30 දක්වා වසර 10 ක කාලයක් තුළ සමාන වාරික වශයෙන් වන්දි ගෙවීමට අපේක්ෂා කරන බව එහි සඳහන් විය.

වන්දි මුදලින් කොටසක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු කටයුතු යොදා ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර තිබුණේ දරුවන් අහිමි වූ පියෙකු ඇතුළු වින්දිතයින් පිරිසක් විසිනි.

පෙත්සම් සම්පූර්ණයෙන් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *