ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබෙන තුරු පානීය ජලය සැපයීම හදිසි සහ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා ජාතික ජල සම්පත් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බදුල ගුණවර්ධන මහතා පවසයි.
සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක පවුල් 84,000ක් පමණ පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික ආපදා සහන මධ්‍යස්ථානය විසින් අගෝස්තු 22 වැනි දින වාර්තාවක් ද ප්‍රකාශයට පත් කළ බවද පැවසේ.
“මේ තත්ත්වය යටතේ දිවයිනේ ජලාශ පද්ධතියේ ප්‍රමාණවත් ජල ධාරිතාවක් ගබඩා වන තුරු දැනට පවතින සීමිත ජල ධාරිතාව ප්‍රශස්ත ලෙස භාවිත කර කළමනාකරණය කළ යුතු බව” අමාත්‍යවරයා පැවසීය.
2023 ජූලි 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද “ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” අනුව පානීය ජලය සැපයීමට ප්‍රමුඛත්වය දිය යුතුය. අනෙකුත් ජල කොටස්කරුවන් ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව ඔහු පැවසීය.