නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය

ජාතික නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 4 වැනිදා කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැඟෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

උතුරු නැඟෙනහිර පළාත් සිවිල් සංවිධාන මේ තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැඟෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් සහ මෙරට දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන බව කියන මර්දනයන්ට එරෙහිවයි.

මෙම විරෝධතාවන් ජාතික නිදහස් දිනයට සමගාමී විරෝධතා ව්‍යාපාරයක් වශයෙන් ලබන 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමටත් එම සිවිල් සංවිධාන තීරණය කර ඇති අතර ඊට උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් සහාය පළ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය දෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියි. එමෙන්ම උතුරු නැඟෙනහිර පළාත්වල සිදුවන සිංහල ජනපදකරණය වැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව පවත්වන මෙම විරෝධතාවන්ට එක්වන්නැයි සියලු දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සුමන්තිරන් මහතා පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *