ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලදී. අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත්කරන ලදී.
මේ අයුරින්ම මුජිබර් රහුමාන් මහතා ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කර ගන්නා ලදී. කෙසේ වුවද පුරප්පාඩු වූ ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකරන ලදී.
සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.
මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.