දේශපාලනික අරමුණකින් තොරව සහාය දෙන බවට චීන ජනපති ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට කිසිදු දේශපාලනික අරමුණකින් තොරව සහාය දෙන බව ජනාධිපති ෂී ජින්පින් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, චීනයේ බීජිං නුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(20) හමුවූ අවස්ථාවේ දී ය.

චීන මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

චීන ජනාධිපතිවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මිත්‍රශීලි ව පිළිගනු ලැබීමෙන් අනතුරු ව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා කඩිනම් සහාය ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළ බවයි.

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩසටහනට පළමුවෙන් එක්වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා, ලංකාවේ නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බවත් එහි දී සඳහන් කර තිබේ.

මෙහි දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දැක්වූ අදහස්,

”අප දෙරටේ ජනතාව දිගුකාලීන මිතුදමකින් සහ අන්‍යෝන්‍ය අවබෝධයකින් සිටි බවට සුප්‍රකට පාහියන් භික්ෂූන් වහන්සේ රචනා කළ බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තා මෙන්ම සමුදුරු දේශාටනයේ නියැලුණු චෙන් හෝ ගේ පුරාවෘත්තයන් සාක්ෂි සපයනවා.1952 වසරේ දී චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් – සහල් ගිවිසුම වඩාත් වැදගත් ලෙස දක්වන්න පුළුවන්. අන්‍යෝන්‍ය සහයෝගය සහ ස්වයං සංවර්ධනය උදෙසා එකමුතු වීම එමගින් පෙන්නුම් කරනවා. ජනාධිපතිතුමනි, ඔබේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දුෂ්කර සමයක් පිටුදකිමින් ආර්ථික සහ සාමාජීය ප්‍රකෘතිමත්භාවයක් සහ සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ සබඳතා ඉතා වැදගත් වශයෙන් මම සලකනවා. අප අතර දේශපාලනමය අවබෝධය, විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට මම කැමැත්තෙන් සිටිනවා. එක් තීරයක් එක් මාවතක් ඔස්සේ ඉහළ මට්ටමේ සහයෝගීතාවක් සාක්ෂාත් කරගැනීමටත්, චීන – ශ්‍රී ලංකා ක්‍රමෝපාය සහයෝගීතාව ඉහළ තලයක් කර‍ා නව ප්‍රගතියක් ලැබීමටත් අන්‍යෝන්‍ය සහාය සහ සදාතනික මිතුරුදමක් තුළින් දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමටත් මම අපේක්ෂා කරනවා”

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

”එක් තීරයක් එක් මාවතක් තුන් වැනි සමුළුව සාර්ථක ලෙස පැවැත්වීම ගැන මම ඔබට ස්තූතිය පළ කරනවා. පළමු සමුළුවේ පටන් එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය දැන් ශක්තිමත් හැඩයක් ගනිමින් ප්‍රගතියක් ලබනවා. මෙම රාමුව තුළ එක් එක් රටක කාර්යභාරය කුමක්ද යන්න සහ අපේ සහයෝගීතා කවර ආකාරයේ විය යුතු දැයි අප තීරණය කළ යුතුවෙනවා”

මෙහි දී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ආසියාව සංවර්ධන කලාපයක් බවට පත්කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එක් ව ක්‍රියාකිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *