දිනකට ලන්ච් ෂීට් මිලියන 1.5 ක් පමණ පරිසරයට එකතු වේ – මහාචාර්ය මදුජිත්

පරිසරය සුරැකීම වෙනුවෙන් පොලිතින් භාවිතයෙන් වළකින ලෙස අවස්ථා කිහිපයකදී ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබුණද මේ වන විට දිනකට ලන්ච් ෂීට් ලක්ෂ 15ත් 15ත් අතර ප්‍රමාණයක් මෙරට පොළවට එක්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා  පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසර තිරසාර මධ්‍යස්ථානයේ වසර දෙකකට වරක් සංවිධානය කෙරෙන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. ‘දේශගුණික විපර්යාස හමුවේ තිරසාරත්වය සඳහා පාරිසරික කළමනාකරණය ගවේෂණය කිරීම’ යන තේමාව යටතේ මෙවර සමුළුව සංවිධානය කර තිබුණි.

පරිසරය සුරැකීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඉතා දුර්වල මට්ටමක සිටින බව ද මහාචාර්යවරයා පැවසීය.

යම් නිෂ්පාදනයක් තහනම් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට ඒ සඳහා විකල්ප හඳුන්වා දීමේදී අප රටක් ලෙස පසුගාමී වන බවත් මේ හේතුවෙන් අදාළ ප්‍රතිපත්ති තීරණය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු මතුවන බවත් නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.

ඉවත දැමිය හැකි පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීමට 2017 සහ 2021 ප්‍රතිපත්තිමය තීරණ ගත්තද අද වන විටත් එය අපේක්ෂිත මට්ටමින් ක්‍රියාත්මක නොවන බව ඔහු අවධාරණය කළේය. මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට් අලෙවිය තහනම් කර ඇති බවත්, අද පවා තම අවශ්‍යතාවයට අනුව ලන්ච් ෂීට් වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැකි බවත් ඔහු පැවසීය.

ඒවා මිහිපිට යථාර්ථයක් කර ගැනීම වැදගත් බව පැවසූ මහාචාර්යවරයා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී මෙම ලන්ච් ෂීට් පස් සමඟ මිශ්‍ර වූ පසු දිරාපත් වීමට වසර 100ක් 200ක් පමණ ගත වන බවද සඳහන් කළේය. මෙම ලන්ච් ෂීට් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වී ජල මූලාශ්‍රවලට මිශ්‍ර වන බවත් එය ඉතා භයානක තත්ත්වයක් බවත් මහාචාර්ය මධුජිත් වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉන්දියාවේ සහ චීනයේ වායු දූෂණය ගැන කතා කළත් ශ්‍රී ලංකාවේ එවැනි සංවාදයක් ක්‍රියාත්මක නොවන බවත් මේ වායු දූෂණය මෙරටත් පැහැදිලිව පෙනෙන බවත්ය.

ශ්‍රී ලංකා සාගර කලාපයේදී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදුවූ විනාශය සම්බන්ධයෙන් තවමත් තක්සේරුවක් කළ නොහැකි බව මහාචාර්ය මධුජිත් මහතා පැවසීය.

ලෝකයේ රටවල් 200ක් පමණ අතුරින් ශ්‍රී ලංකාව 27 වැනි ඉහළම ජනගහන ඝනත්වයට හිමිකම් කියන බවද ඔහු පැවසීය. දියුණු රටවල ඇස්බැස්ටස් භාවිතය තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එය තහනම් කිරීමට අවධානය යොමු කර ඇති නමුත් විවිධ හේතූන් මත එම තීරණ ක්‍රියාත්මක නොවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *