ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අතර ඇති වූ මතභේදය හේතුවෙන් එම පෙත්සම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම සැප්තැම්බර් 14 වැනිදා විභාගයට ගැනීම සඳහා පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපතිවරයාට බලකරමින් මෙම රිට් අයදුම්පතේ පෙත්සම්කාර සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් අද මෝසමක් ගොනු කළේය.
ජුලි 25 වැනි දින අභියාචනාධිකරණයේ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා බෙදී තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට නියෝග කළේය.
පෙත්සම්කරුගේ අදහස වන්නේ අධිකරණය හමුවේ පවරා ඇති කරුණු පුරවැසියෙකු නොවන අයෙකු අමාත්‍ය ධූරයක් දැරීම ඇතුළු ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වන බවයි. මෙම කරුණ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සැලකිය යුතු විවාදයකට තුඩු දී ඇති අතර එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ සහ නීතියේ ආධිපත්‍යයේ මුලට යන බව පෙත්සම්කරු විශ්වාස කරන කරුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ප‍්‍රකාශ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙම රිට් අයදුම්පත්‍රයෙන් පෙත්සම්කරු ඉල්ලා සිටියි.
පෙත්සම්කරු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් දැරිය හැක්කේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් බවත්ය. පෙත්සම්කරු කියා සිටියේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වූ බවයි. ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බව පෙත්සම්කරු පැවසීය.
ඩයනා ගමගේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 90 වැනි ව්‍යවස්ථාව සමඟ කියවා ඇති 91 වැනි ව්‍යවස්ථාව යටතේ සහ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුස්සකු බව පෙත්සම්කරු වැඩිදුරටත් පැවසීය.