ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය 56 වැනි ජන්ම දිනය ඊයේ නොවැම්බර් 24 වැනිදා සමරනු ලැබීය.
1968 දී උපත ලද ජනාධිපති දිසානායක දශක කිහිපයක් පුරාවට ශ්‍රී ලංකා දේශපාලනයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ ඔහු පසුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු උසස් පෙළ විභාගයෙන් ගණිත විෂය ධාරාවෙන් දස්කම් දැක්වීය.
1992 දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූ ඔහු 1995 දී විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය.
1987 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වූ ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ඔහුගේ දේශපාලන ගමන ආරම්භ විය. එම වසරේම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා පැවති විරෝධතාවලදී ඔහු ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. එපමණක් නොව, 1993 දී රාජ්‍ය මර්දන සමයකින් පසු ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) යළි හිස එසවීමත් සමඟ දිසානායක යළි ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කළේය. ඔහු 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත් කරන ලද අතර එම වසරේම ජවිපෙ මධ්‍යම කාරක සභාවට තේරී පත් විය. 1998 වන විට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සම්බන්ධ විය.
දිසානායක ජනාධිපතිවරයා 1999 පළාත් සභා මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ මැතිවරණ දේශපාලනයට ඔහුගේ ආරම්භක ගමන සනිටුහන් කරමිනි.
ඔහු 2000 වසරේ ජාතික ලැයිස්තුවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණියා. පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී දිසානායක කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
2008 දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත් වූ ඔහු 2010 දී ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණියේය. 2015 දී ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ කොළඹ දිස්ත්‍රික්කයයි.
අනුර දිසානායක 2014 පෙබරවාරි 2 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික සමුළුවේදී එහි නායකත්වය භාර ගත්තේය. 2019 දී ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කරන සන්ධානයක් වන ජාතික ජන බලවේගය (NPP) පිහිටුවීමට ඔහු නායකත්වය දුන්නේය.
2024 සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙමින් ඉතිහාසයට එක් වූයේ සිය දේශපාලන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.