ලබන වසරේ ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී මගී නෞකාවන් 35ක් පමණ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික අංශය පවසයි.
වැඩිවන සංචාරක නෞකා සංඛ්‍යාවට පහසුකම් සැලසීම සඳහා කොළඹ වරායේ බණ්ඩාරනායක වරාය මගී පර්යන්තයක් බවට පත් කර ගබඩා වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී ඇත.
මෙම සංවර්ධනයත් සමඟ මීටර 350ක් දිග විශාල නෞකා තුනක් එකවර පැමිණියත් එම මෙහෙයුම්වලට සහ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කොළඹ වරායට හැකියාව ලැබෙනවා.
බණ්ඩාරනායක තටාකාංගනයේ සංවර්ධන කටයුතු අවසන් වනතුරු දැනට පවතින මගී පර්යන්තය තුළ සහ ඒ ආසන්නයේ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම, ආපනශාලා සහ වෙළඳ භාණ්ඩ අලෙවිසැල් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
දැනට පවතින මගී පර්යන්තයේ සහ බණ්ඩාරනායක තොටුපළේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ද සිල්වා මහතා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
“ඉදිරි සංචාරක සමයේදී කොළඹ වරායට නෞකා විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිත බවත්, එම නෞකා සහ ඒවායින් පැමිණෙන සංචාරකයින්ට මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවත්” අමාත්‍ය ද සිල්වා මහතා පැවසීය.
එම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැකිතාක් පවතින ඉඩ ප්‍රයෝජනයට ගනිමින් එම පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලබා ගන්නා ලෙසත් ආයෝජකයන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.