කොවිඩ්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මේ අයුරින් දැනුවත් වෙන්න

Share this Article

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි වීමට හේතු සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ නිසි ක්‍රමවේදයන් පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ. නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත් ඊට ගොදුරුවීම වළක්වාගැනීමේ හැකියාව පවතිනවා.

නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම එක් අයකුගෙන් තවත් අයකුට ආසාදනය වන්නේ කතාකරන විටදී, කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති මඟින්. එම දියර බිඳිති , ආසාදිතයා අසල සිටින පුද්ගලයෙකුගේ මුඛයේ හෝ නාසයේ හෝ තැන්පත් වීම මගින් මෙම වෛරසය ශරීරගත වීම සිදු වෙයි. මෙම දියර බිඳිති බරින් වැඩි නිසා බොහෝ දුරක් වාතය හරහා ගමන් කිරීමක් සිදු නොවන අතර දළ වශයෙන් මීටර් 1ක් වැනි දුරක් ඇතුළතදී අසළ ඇති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීම සිදුවෙයි. මේ නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වන විටදී එය බොහෝ විට සිදුවන්නේ අදාළ රෝගී පුද්ගලයා සමීපව ආශ්‍රය කරන අයටයි.

එමෙන්ම ආසාදිතයකුගෙන් පරිසරයට නිකුත් වූ වෛරස තැවරුණු පෘෂ්ඨයක් ආසාදිත නොවන පුද්ගලයකු විසින් ස්පර්ශ කළ විට වෛරසය එම තැනැත්තාගේ අත්වල තැවරීමට ඉඩකඩ පවතියි. එවැනි අතකින් ඔහු හෝ ඇය ඇස් ,නාසය හෝ මුඛය ඇල්ලීමෙන්ද වෛරසය ආසාදනය වීමේ අවස්ථාවක් තිබේ.

මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනයවීම වළක්වාගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.

මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල වන නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මඟින් වෛරසය ඇතුළුවීම වළක්වාගත හැකියි.

එමෙන්ම බාහිර පෘෂ්ඨ ස්පර්ශ කළ පසු හොඳින් සබන් යොදා සෝදා දෑත් ‍පිරිසිදු කිරීමත්, ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක මගින් විෂබීජ හරණය කිරීමත් වෛරසය ශරීරගත වීම වැළැක්වීමට උපකාරී වේ. ඒ අනුව නිතර දෑත් සෝදා පිරිසිදු කරගැනීම වැදගත් වෙයි.

ඔබ කහිනවිට, කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් උචිත වේ. එම ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට දැමීමට පියවර ගත යුතුයි.

ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, කෙටි හුස්ම ගැනීම, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි අසීරුතා ඇත්නම් වෛද්‍යවරයකු හමුවීමට පසුබව නොවන්න.


Share this Article

Leave a Reply

Your email address will not be published.