ශ්‍රී ලංකාවේ 7වැනි විධායක ජනපතිවරයා තෝරාගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ දින 11ක් පමණි. එය සති දෙකකටත් අඩු කාලයකි. ඒ අතරතුර තවත් දේශපාලන පොර පිටිය උණුසුම් වෙමින් පවතී. ජනපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වුවද මේ වනවිට ප්‍රධාන තරගය පෙර පැවැති සියලු තත්ත්වයන් හා පූර්ව දේශපාලන විචාරයන් වෙනස් කරමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ද්වන්ධ සටනක් බවට පත්වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එනම් ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට යම්තාක් දුරට සිය ඡන්ද පදනම වැඩිකරගනිමින් සිටියද එය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අභියෝගයක් වන එකක් නොවනු ඇත. මේ අතර දේශපාලන කරළිය උණුසුම් කරමින් තවත් තීරණාත්මක තීරණයක් උතුරේ දෙමළ පක්ෂ ඊයේ(3) ලබාදුන්නේය. ඒ දෙමළ සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය සහාය ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලබාදීමේ තීන්දුවයි. දෙමළ සන්ධාන නායකයින් වන ආර්.සම්බන්ධන්, එම්.ඒ.සුමන්තිරන් හා මාවේ සේනාධිරාජා ඇතුළු ප්‍රධානතම දෙමළ පක්ෂ නායකයින් එම තීන්දුව ලබාදුන් අතර එය එසේ වනු ඇති බවට කල් තියාම බොහෝ දේශපාලන ඉවක් ඇති පිරිස් දැන සිටි බව නොරහසකි. ඒ මන්ද යත් පසුගිය කාල වකවානුවේ එජාපය බේරාගත්තේද ඔවුන් නිසාය. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේදී මෙන්ම ආණ්ඩු පෙරළියේදීද එජාපයට බහුතරය තහවුරු කරන ලද්දේ සම්බන්ධන් ඇතුළු පිරිසයි.
උතුරේ දෙමළ සමාජ තුළ බලය පවතින දේශපාලන පක්ෂ කීපයක් පසුගිය සතියේ පොදු ප්‍රකාශයක් මගින් මේ ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තම පක්ෂවල ඒකාබද්ධ ස්ථාවරයක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රකාශයට අනුව ටී.එන්.ඒ. ඇතුළු උතුරේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල මතය වන්නේ ඒ අයගේ ඡන්ද මේ ජනාධිපතිවරණයේ කවර හෝ අපේක්ෂකයකු වෙනුවෙන් පාවිච්චි කිරීමට නම් ඒ අපේක්ෂකයා එකඟවිය යුතු කොන්දේසි 13ක් තිබෙන බවයි. මේ කොන්දේසිවලට එකඟ වන්නේ නැති කාටවත් තමන්ගේ ඡන්ද ටික දෙන්නේ නැති බව ඔවුන්ගේ අදහස විය. මේ කොන්දේසි මාලාවට අයත් වන්නේ එක පැත්තකින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කරුණු වන අතර තවත් පැත්තකින් මේ සමහර කොන්දේසි රටේ ආර්ථිකයටත් සාමාන්‍ය පරිපාලනයටත් ඍජුවම සම්බන්ධ වෙන බව පෙනී යයි.
මේ කොන්දේසි මාලාවේ තිබෙන බරපතළකම නිසාම මේ වනවිටත් ගෝඨාභය මහතා ඍජුවම පවසා ඇත්තේ තමන් මේ යෝජනාවලිය සඳහා එකඟ නොවන බව ප්‍රකාශ කර තිබිණි. සජිත් ප්‍රේමදස මහතා මේ පිළිබඳව සිතන්නේ කුමක්දැයි හරියටම කීමට නොහැක්කේ ඔහු තවමත් මේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කර නැති නිසාය. විශේෂයෙන් මේ කාරණය ඉතාමත් වැදගත් වන්නේ මෙවර උතුරෙන් පැමිණි මේ යෝජනාවට එකඟ වුවහොත් සිදුවිය හැකි අර්බුද කීපයක්ම ඍජුවම පෙන්නා දිය හැකි නිසාය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව වාර කිහිපයකදීම කියා තිබිණි. ඒ අනුව මේ වනතුරු අදාළ කොන්දේසිවලට එකඟ වූවාද නොවූවාද යන්න දන්නේ එජාපය හා දෙමළ පක්ෂ පමණි.
උතුරේ යෝජනාවලියේ පළමු අංකයට දමා ඇත්තේ උතුරු පළාතත් නැගෙනහිර පළාතත් නැවත වතාවක් එකතු කළ යුතු බවයි. මේ යෝජනාව ඉතාමත් සංකීර්ණ හා ප්‍රශ්න සහගත යෝජනාවක් බව ඉතාමත් පැහැදිලිය. ඔවුන් කියන්නේ උතුර හා නැගෙනහිර එකතු කර ස්වයං පාලනයක් ඒ පළාත් දෙක මුල් කරගනිමින් ඇති කළ යුතු බවයි. උතුරු නැගෙනහිර එක් කිරීම පිළිබඳ යෝජනාව 1976 වඩුක්කුඩේ සම්මේලනයේ සිටම මතුවෙමින් යටයමින් තිබෙන යෝජනාවක් වන අතර මේ යෝජනාව යම් ආකාරයකින් අනුමත කිරීමක් සිදුවුණේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමත් සමගය. මේ යෝජනාව ඓතිහාසික වශයෙන් බලන විට එතරම් පදනමක් ඇති එකක් නොවන අතර බ්‍රිතාන්‍යයන්ට මේ රට යටත්වෙන අවස්ථාව වන තෙක්ම නැගෙනහිර පළාත සම්බන්ධවී තිබුණේ උඩරට රාජධානියට බව සිහිපත් කිරීම මෙහිදී ඉතාමත් අවශ්‍යය. 1987 පළාත් සභා ක්‍රමය යටතේ තාවකාලිකව මේ පළාත් දෙක එක් කළ අතර ඒ එක්කිරීමට නැගෙනහිර පළාතේ සිටින සිංහල හා මුස්ලිම් කණ්ඩායම්වලින් ලැබුණේ බරපතළ විරෝධයකි. මේ විරෝධය ගණනකටවත් නොසැලකූ එවකට සිටි එජාපය මේ පළාත් දෙක එක ඒකකයක් බවට පත්කරන්නට උත්සාහ කළ අතර ඒ ප්‍රශ්නය යම් තරමින්වත් විසඳුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් පසුවය. දැන් නැවතත් ටී.එන්.ඒ. ඇතුළු කාණ්ඩය ඉල්ලන්නේ මේ පළාත් දෙක යළිත් එක් කරන ලෙසය. මේ යෝජනාවට යම් පක්ෂයක් එකඟවන්නේ නම් ඒ අය කරන්නේ නැගෙනහිර පළාතේ ජනතාවගේ අයිතීන් සම්පූර්ණයෙන්ම පාගා දැමීමය. මේ ගැන විමසීමෙන් සිටීම ඉතාම වැදගත් වන්නේ නැගෙනහිර මුස්ලිම්වරුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ගමන් ඒ පළාත උතුරට එක්කරන්නටත් එකඟවෙන ආකාරයේ දේශපාලන පක්ෂ මේ ජනාධිපතිවරණයේ තරග කරනවා ද යන්න විමසා බැලීම ඉතාමත් වැදගත් නිසාය.
මේ උතුරේ කොන්දේසි මාලාවේ තිබෙන තවත් බරපතළ එකක් වන්නේ උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ තිබෙන ඉඩකඩම් ඒවායෙන් ඉවත් කිරීමය. මේ කාරණයටම සම්බන්ධව ඉදිරිපත්වී ඇති තවත් කොන්දේසියක් වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිම ආකාරයකින් සිංහල අය පදිංචි නොකළ යුතු බවයි. එපමණක් නොව මේ දක්වා පදිංචිකර සියලු සිංහලයන් ද ඒවායින් ඉවත් කළ යුතු බව ඒ තුළ දක්වා තිබේ. මෙවැනි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු කාණ්ඩය උත්සාහ කරන්නේ දෙමළ දේශපාලනයේ මීළඟ පිම්ම සඳහා යළිත් වතාවක් මේ රටේ ‘බිමක්’ සෑදීමට බව දේශපාලන විචාරකයින්ගේ නිරීක්ෂණයයි.
මේ කොන්දේසි මාලාව මේ අවස්ථාවේ දැම්මේ මෙවර ජනාධිපතිවරණයේ සමහර අපේක්ෂකයන්ට උතුරේ ඡන්දයෙන් තොරව පැවැත්මක් නැති බව දන්නා නිසා බව මගේ මතයය. ඒ අපේක්ෂකයන් පවතින්නේම උතුරෙන් ලැබෙන ඡන්ද ලක්ෂ 05 මතවීම නිසා කල දුටු කල වළ ඉහගැනීමේ දේශපාලනයක් ලෙසින් මෙවර මේ කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බව ඉතාමත් පැහැදිලිය.
මේ රටේ ජාතික නිදහස හා ජාතික සමගිය පිළිබඳව කුමන හෝ ආකාරයක අදහසක් තිබෙන පුරවැසියකු වෙතොත් ඔහු හෝ ඇය කළ යුත්තේ මේ මොහොතේ ජනාධිපතිවරණ ක්‍රියාදාමය තුළ ඍජුව හෝ වක්‍රව මේ කොන්දේසිවලට එකඟතාවය ලබා දෙමින් උතුරේ ඡන්දය ගසා ගැසීමට දරන උත්සාහයක් වේ නම් එය නිවැරැදිව හඳුනාගනිමින් එයට එරෙහිව තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමය. උතුරේ ඡන්ද පොට්ටනිය පෙන්නා රටේ ස්වෛරීත්වය සීමා කරන්නට ඍජුව හෝ වක්‍රව අපි ඉඩ දිය යුතු නැති බව බොහෝ දෙනාගේ අදහසය. ඒ අනුව එජාපය හා සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින්නන් මේ සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ජනතාවට දිය යුතුය. ඒ මක්නිසාද යත් මැදහත් ඡන්දදායකයින්ට අදාළ තීන්දු තීරණ ගැනීමේදී මෙවැනි කොන්දේසිවලට එකඟවූවාද නැද්ද යන්න අනිවාර්යයෙන්ම දැනගත යුතුය. එය ඔවුන්ගේ අයිතිවාසිකමකි.
මේ වනවිට සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරළියට පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන විට තැපැල් ඡන්ද දායකයින් බොහෝ පිරිසක් සිය ඡන්දය භාවිත කර අවසන්ය. එබැවින් ඔවුන්ට සජිත්ගේ ප්‍රතිපත්ති දැනගැනීමට ලැබුණේ නැත. ඒ අනුව එයද ඔවුන්ට කළ අසාධාරණයකි. ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උදම් අනන වත්මන් රජය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්නේ තොරතුරු වසන් කරමින් බව බොහෝ විචාරකයෝ පවසති. මේ සම්බන්ධයෙන් ඍජු පිළිතුරු ඉදිරියේදී ලැබිය යුතුය. සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු වටා සිටින්නන් මෙසේ තොරතුරු වසන් කරන්නේනම් හෝ ජනතාව නොමග යවන්නේනම් ගෝඨාභය මහතා මේ වනවිටද තහවුරු කරගනිමින් සිටින ජය තවත් තරවනු ඇත.