හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබූ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබද වාර්තාවක් ජුනි 10 දින ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලිසියට දන්වා සිටියේය.
සපරාදී බිය ගැන්වීමක්, අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට ප්‍රමාණවත් කරුණු මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
පසුගිය ජනවාරි පළමුවැනි දින හිටපු ඇමතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් මාධ්‍යයට අදහස් දැක්වීමට එරෙහිව අමාත්‍යවරයාගේ දියණිය කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
දැනට ඇප මත සිටින චමල් සංජීව මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් අනුව අදහස් ප්‍රකාශ කිරීමේ හා විරෝධය ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමේ හැකියාවක් පොලිසියට නොමැති බවය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලින් යටපත් කළ නොහැකි බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
විත්තිකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව චෝදනා ගොනු කිරීමට අදහස් කරන බව කුරුඳුවත්ත පොලිසියේ සැරයෙන් සමන් රාජපක්ෂ මහතා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.