කැනඩා ඝාතනයේ සැකකරුගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවයි

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සිල්වාගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවීමට පියවර ගත් බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පැවැසුවේය.

ෆෙබ්‍රියෝ ද සිල්වා මයින් ක්‍රාෆ්ට් පරිගණක ක්‍රීඩාවේ වීඩියෝ නිරන්තරයෙන් ඔහුගේ ගිණුමට උඩුගත කර ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ඔටාවාහි ඝාතන සිද්ධියෙන් පසුව විශ්වසනීයත්වය සහ ආරක්ෂාව පිළිබඳ වගකිව යුතු යූ ටියුබ් කණ්ඩායම එම සිද්ධියේ සැකකරු වූ ෆෙබ්‍රියෝ ද සිල්වා පවත්වාගෙන ගිය යූ ටියුබ් ගිණුම හඳුනාගත් බවත් යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වගකීමේ මාර්ගෝපදේශයන්ට අනුව එම කණ්ඩායම ෆෙබ්‍රියෝගේ යූ ටියුබ් ගිණුම අත්හිටවූ බවත්  ගූගල් සමාගමේ ප්‍රකාශකයා පැවැසුවේය.

යූ ටියුබ් ගිණුම් හිමිකරුවෙක්ගේ සැබෑ ලෝකය තුළ හැසිරීම යූ ටියුබ් ප්‍රජාවට අවදානමක් නම් යූ ටියුබ් සමාගම එම හිමිකරුවා පිළිබඳ ක්‍රියා මාර්ග ගන්නා බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන් පස් දෙනකු සහ එම පවුලේ හිතවතකු පසුගියදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ අතර එම ඝාතන සිදුකළේ යැයි සැකපිට ඔටාවා පොලිසිය විසින් 19 ෆෙබ්‍රියෝ ද සිල්වා අත් අඩංගුවට ගනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *