එන්නත්කරණයේ ප්‍රගතිය

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 81%ක ප්‍රතිශතයක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ඉක්මවූ 1,334,947ක් වන ජනගහනයෙන් 1,077,377 දෙනෙකු එනම් සියයට 80.7%ක් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව සඳහන් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 79%, කළුතර දිස්ත්‍රික්කයේ 77% කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72%ක් වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ ද වයස අවුරුදු 30 ඉක්මවූ පිරිසෙන් 58%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව වාර්තා විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 45%ක්, මාතර දිස්ත්‍රික්කයේ 43%ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 41%ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 40%ක්, යාපනය හා බදුල්ල දිස්ත්‍රික්කවල 35%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 30%ක්, අනුරාධපුරය දිස්ත්‍රික්කයේ 24%ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 23%ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 21%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 20%ක් ලෙස එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව දත්ත අනුව පෙනීයයි.

මහනුවර, ත්‍රිකුණාමලය, මොනරාගල, පොළොන්නරුව, අම්පාර, පුත්තලම, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති  ප්‍රතිශතය 2%ත් 19%ත් අතර වන බව වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවෙන් පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *