ඉන්දියා – කැනඩා ආරවුල ඔඩු දුවයි

කැනඩාවේ වාසය කළ සික් ජාතිකයෙකුගේ ඝාතනයත් සමඟ ඉන්දියාව සහ කැනඩාව අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එසේ ඝාතනය කළ හර්දීප් සින්ග් නිජ්ජාර් ඛලිස්තාන විමුක්ති බෙදුම්වාදී සංවිධාවනයේ පෙරමුණ ගත් සාමාජිකයෙකි.

මෙම ඝාතනය ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් සිදුකර ඇති බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ එරට පාර්ලිමේන්තුව හමුවේ චෝදනා කළේ පසුගිය සඳුදා ය.

ඒ හේතුවෙන් මේ වනවිට දෙරට අතර දැඩි රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.

එම කරුණ පාදක කරගෙන දැනටමත් දෙරටේම රාජතාන්ත්‍රිකයින් නෙරපා දැරීමට දෙරටම කටයුතු කළා.

එමෙන්ම කැනඩාවේ ඇතැම් පළාත්වල සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉන්දියාව සිය පුරවැසියන්ට දන්වා ඇති අතර ඊට පෙර ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ සංචාරයෙන් වළකින ලෙස කැනඩාවද සිය ජනතාවට දන්වා තිබුණි.

මේ අතර ඛාලිස්තාන විමුක්ති බෙදුම්වාදී සංවිධානයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙකු වූ සුඛා දුනෙකේ ද කැනඩාවේදී ඝාතනය කර ඇති බව වාර්තා විය.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ, යම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හිදී ඝාතනයට ලක්වූ හර්දීප් සින්ග් නිජ්ජාර් ගේ මරණයට ඉන්දීය රජය සම්බන්ධ බවට කැනේඩියානු අගමැති ටෘඩෝ පළමුවරට අනාවරණ කලේ පසුගියදා යි.

ඊට පෙර ඔහු ඒ පිළිබඳ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල් සමග සාකච්ඡා කර තිබූ බවත් වාර්තා වෙයි.

මෙම ගැටලුව ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඒ අනුවයි.

මෙහිදී කැනඩාවට අනපේක්ෂිත තත්ත්වයකට මුහුණපෑමට සිදුව තිබේ.

ඒ ඉන්දියාවට එරෙහිව හඬ නැගීමට බොහෝ රටවල් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

මිලියන 40ක ජනගහනයක් වෙසෙන කැනඩාව බටහිර ලෝකයේ රටවල් අතර වැදගත් රටකි.

කෙසේ නමුත් චීනයේ වෙළෙඳ ආධිපත්‍ය හමුවේ ලොව බොහෝ ප්‍රධාන රටවල් චීනය අත්හැර ආදේශකයක් ලෙස යොමුව ඇත්තේ ඉන්දියාව දෙසට යි.

මේ අනුව ඉන්දියාව දැන් ලෝකයේ බොහෝ රටවලට නැතිවම බැරි රටක් බවට පත්ව තිබෙන බව නොරහසකි.

කැනඩාවේ සමීපතම හිතවතා වන බ්‍රිතාන්‍යය පවා මෙහිදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයකි.

ඔවුන් ද මේ පිළිබඳ විවෘත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා වෙමින් පවතින පසුබිමක බ්‍රිතාන්‍යය කිසිසේත් කැනඩාවට පක්ෂපාතී නොවනු ඇති බව විශ්ලේෂකයින් පවසයි.

කැනඩාව සහ ඉන්දියාව අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර ආරක්ෂක උපදේශක ජෝන් කර්බි ද අදහස් පළකර තිබුණි.

එහිදී සඳහන් වූයේ මේ තත්ත්වය පිළිබඳව කණගාටුවට පත්ව සිටින බවය.

එමෙන්ම ඒ පිළිබඳව පරීක්ෂණ සඳහා අදාළ සහාය ලබාදෙන ලෙසද ඔවුන් ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගියදා ඉන්දියාවේදී අවසන් වූ G20 සමුළුව අතරතුර මේ පිළිබඳව ඒකාබද්ධ හෙළාදැකීමේ ප්‍රකාශයක් නිකුත් කිරිමට සහාය දක්වන ලෙස අගමැති ටෘඩෝ අනෙක් රටවලින් ඉල්ලා ඇතැයි වොෂින්ටන් පෝස්ට් මාධ්‍ය ජාලය වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් අමෙරිකාව ඇතුළ රටවල් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව එහි දැක්වෙයි.

කෙසේ නමුත් විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව කර්බි වැඩිදුරටත් පවසා තිබුණි.

රුසියානු රජයේ මැදිහත්වීමකින් හිටපු ඔත්තු නිලධාරියෙකු වන සර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය වන යුලියා, විෂ ලබාදී ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් 2018 වසරේදී බ්‍රිතාන්‍ය යෙන් වාර්තා විය.

එහිදී කැනඩාවට සෘජුවම බ්‍රිතාන්‍යයට සහාය පළකළ අතර එහිදී කැනඩාවේ රැඳී සිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් රටින් නෙරපා හැරීමටත් ඔවුන් කටයුතු කළේය.

එසේ වුවත් මෙවර බටහිර රටවල් කැනඩාවේ පැත්ත නොගැනීම විශේෂත්වයකි.

මේ අනුව ගෝලීය දැවැන්තයෙක් ලෙස ඉන්දියාව පතුරුවා ඇති ආධිපත්‍ය හමුවේ කැනඩාව තරමක් හුදකලා වී ඇති බවක් පෙනී යන බව විචාරකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *