ආහාර උද්දමනය 45%කින් ඉහළට…

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 21.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 33.8ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 29.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 45.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 14.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 23.9 දක්වා ඉහළ ගියේය.

2022 අප්‍රේල් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.22ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.03කින් සහ සියයට 4.19කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 10.6හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 17.3හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 27.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 8.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *