‘අස්වැසුම’ සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන්ට පළමු වාරිකය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය ඊයේ රුපියල් බිලියන 5ක් බැංකු වෙත මුදා හැර තිබේ.
තෝරාගත් ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් ලක්ෂ 15 න් තොරතුරු සත්‍යාපනය කර ඇති ප්‍රතිලාභීන් ලක්ෂ 8 කට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙන බව රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත්, නව ක්‍රමවේදයට අනුව එකවර ගිණුම් විශාල සංඛ්‍යාවක ක්‍රියාකාරීත්වය සිදු කිරීමේදී බැංකුවල පරිගණක පද්ධතිවල යම් යම් ගැටලු මතුවිය හැකි බවත්, ඒ හේතුවෙන් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන විට සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පළමු වාරිකය ගෙවීමෙන් පසු ප්‍රතිලාභ ගෙවීම සඳහා මාසයේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වැඩසටහනට අදාළ ඕනෑම ගැටළුවක් සඳහා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය ඇමතීමට 1924 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ හැකි බව ඔහු පැවසීය.
මේ වන විට අභියාචනා සහ විරෝධතා විමර්ශනය ආරම්භ කර ඇති බවත් එය අවසන් වූ වහාම සුදුසුකම් ඇති සියලුම ප්‍රතිලාභීන් වෙත මුදල් ගෙවීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අසත්‍ය තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලැබූ ප්‍රතිලාභීන් සිටී නම් එය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ලබාදුන් මුදල් අයකර ගැනීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කරන බව ඔහු අවවාද කළේය.