සිය වැටුප් පරිමාණය නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් පරිමාණයට සමගාමීව ඉහළ දැමිය යුතු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු කාරක සභාවකට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ විවෘත සහ වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම ඉල්ලීම කර ඇත.
අදාළ තනතුරු සඳහා වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දක්‍ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව නිලධාරීහු පැවසූහ. අල්ලස් කොමිසමේ වැටුප් තල නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් තලයට අනුකූලව සකස් කරන ලෙස එම නිලධාරීන් කමිටුවෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවය කාර්යක්ෂමව ලබා ගැනීමට නම් නිලධාරීන් නිවැරදි වැටුප් තලයකට පත් කළ යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කමිටුවේ නිර්දේශ අදාළ අංශ වෙත යොමු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අලුතින් සම්මත කර ඇති දූෂණ මර්දන පනත මගින් පෙරට වඩා ක්ෂේත්‍ර ගණනාවක පරීක්ෂණ පැවැත්වීමට බලය ලබාදී ඇතත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධති සහ තාක්ෂණික උපකරණ නොමැතිකම හේතුවෙන් ඇතැම් කාර්යයන් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. .
අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධති සහ තාක්ෂණික උපකරණ නොමැතිකම හේතුවෙන් ඒවා ලබාදීමට බැඳී සිටින අයගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ඔවුහු පැවසූහ.
එවැනි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත් එම ක්‍රියාවලිය විද්‍යුත් ක්‍රමයට සිදුකළ යුතු බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කමිටුවට දැනුම් දුන්නා. නමුත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධති හා තාක්ෂණික උපකරණ නොමැතිකම නිසා එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නිලධාරීන්ට නොහැකි වී ඇත.