අත්අඩංගුවට ගැනීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු පිළිඹද ජනපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්.

අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරීව හැ දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති තුමාට උපදෙස් ලබාදී ඇතිබවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

අත්අඩංගුවට ගැනීම දඩුවමෙන් කොටසක් නොවන බවත්, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්තිනාමයට හා සමාජ තත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පති වරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම් ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්, එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදු වන බවට සහතික කරගන්නා ලෙසටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහත කී රාජකාරිය ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ගෞරවය ලබා දිය යුතු බවටත් ජනාධිපති තුමා දැනුම්දී තිබේ.

එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවත්, කිසිදු තත්වයක් යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතු බවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත්, දූරදර්ශිව නිසි ලෙස රාජකාරී ඉටු කරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන්හීදී නීතිපති උපදෙස් පරිදි ක්‍රියාකරන ලෙසටද ජනාධිපති ලේකම් තුමා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දි ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *