අගමැති මහින්ද උත්තර ප්‍රදේශ්හි වාරානාසි සහ සාරානාත් වෙත

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) උදෑසන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි වාරානාසි නගරයට පැමිණියේය. ලාල් බහදූර් ශාස්ත්‍රි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී එතුමා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබුණි.

වාරානාසි වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කාෂි විශ්වනාත් සිද්ධස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. ගංගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම සිද්ධස්ථානය හින්දු දේවස්ථාන වලින් වඩා ප්‍රචලිත දේවස්ථානයක් වෙයි.

ඉන් අනතුරුව ඔහු සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථාන හා සංස්කෘතිකමය වටිනාකමකින් යුතු ස්ථානවල සංචාරයක නිරත වීය. පළමුව සාරානාත් කෞතුකාගාරය නැරඹීමට ගොස් අනතුරුව බුදුරජානන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදු කරන ලද සාරානාත් නුවර ඓතිහාසික ‘ඉසිපතනයේ මිගදාය´ පූජා භූමිය වන්දනා කළ අතර, මහා බෝධි සමාගමට අයත් මූලගන්ධි කුටි විහාරය වෙත ගොස් බෞද්ධ ආගමික වතාවත්හි නිරත වී ආශීර්වාද ලබා ගත්තේය. ඊයේ දිනය අවසානයේ එතුමා ‘ඉන්දු – ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය´ වෙත පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *