සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළේය.
ෆොන්සේකා මහතාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා මෙම සතියේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන බව මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
“පක්ෂයේ තරාතිරම නොබලා පක්ෂයක ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. පක්ෂයේ ඉන්නකම් පක්ෂ නායකයා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ලෑස්ති වෙනවා ඔහුට විරුද්ධව පියවර ගන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේ තීරණය කරනවා,” ඔහු පැවසීය.
පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පියවරක් නොමැති බවයි.
“රාජිත සමගි ජන බලවේගයේ නායකයා ෆොන්සේකා විවේචනය කරනවා වගේ සැර පරුෂ විදියට විවේචනය කරන්නේ නැහැ” ඔහු පැවසීය.