සීනි කිලෝවක මිළ 125 දක්වා අඩු කිරීම කෙරෙහි අවධානයක්

සීනි සහ සහල් සඳහා අද දිනයේ පාලන මිලක් නියම කිරීමට නියමිතව තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ සීනි සඳහා රුපියල් 125 ක උපරිම මිලක් නියම කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි.

මේ අතර සීනි තොග සගවා තැබූ ගබඩා කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වැටලීමත් සමග රුපියල් 220 ක් පමණ වූ සීනි කිලෝවක තොග මිල ඊයේ දිනය වන විට රුපියල් 150 ක් පමණ දක්වා අඩු වී ඇතැයි සදහන්.

මේ අතර ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි්‍රක් ටොන් 29,900ක ප්‍රමාණයක් ඊයේ සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පැවසුවා.

එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉදිරියේදීද සගවා තබන සීනි තොග ඇති ස්ථාන පිළිබද සොයා බලා ඒවාද සාධාරණ මිලකට වෙළදපොළට නිකුත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පසුගිය වසරේ  ඔක්තෝබර් මස 14 වනදා සිට ශත 25ක් දක්වා අඩු කෙරුනේ පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ අරමුණින්. ඒ වන විට රට තුළ සීනි මෙට්ටි්‍රක් ටොන් 88,878ක් පැවතුණා.

සීනි බද්ද අඩු කිරීමෙන් පසු පසුගිය වසරේ ඔක්තෝබර් 14 වනදා සිට මෙම වසරේ ජුනි 30 වනදා දක්වා මෙරටට සීනි මෙට්ටි්‍රක් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ටි්‍රක් ටොන් 35,000ක් පමණ වනවා.

ඒ අනුව රට තුළ විශාල සීනි තොගයක් පවතින බව පැහැදිලි කරුණක්.

එහෙත් කෘතිම ලෙස සීනි හිඟයක් ඇති කර, ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි වුණා.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ එම නීති ප්‍රකාරවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *