සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදන බවට අධ්‍යාපන ඇමති පවසයි

ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නව අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය ට අදහස් දැක්වු අමාත්‍යවරයා,

“භාරදූර කර්තවයක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය වගේම සෑම අමාත්‍යාංශයක් ම. සහෝදර අමාත්‍යවරු හා ජනාධිපතිවරයා සමඟ මේ තියෙන අභියෝගය ජාතික කර්තවය ඉටුකිරීමට අපි කැපවී තිබෙනවා. අපේ දරු පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගතය. එය ගැඹුරින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට අඛණ්ඩව අපි ක්‍රියාකරනවා. සාකච්ඡා මාර්ගයෙන් අමාත්‍යාංශයේ වැඩභාරගත්තහම ගුරු ගැටලුව ගැන කටයුතු කරනවා.”

ප්‍රශ්නය – ඔබ තුමා කැමැත්තෙන් ද මේ අමාත්‍යධූරය භාරගත්තේ ?

“සිය කැමැත්තෙන්නේ දිවුරුම් දෙන්නේ. ජාතියට සේවය කිරීමේ දී අපි පරිත්‍යාගය හා ආදර්ශයෙන් ජාතිය වෙනුවෙන් කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයට කැපවු දේශපාලනයක නිරතවෙනවා. රට වැසියා වෙනුවෙන් කළ හැකි කර්තවයට කැපවෙනවා මිසක් තනතුරු වෙනුවෙන් කැපවීමක් නෙමෙයි වෙන්නේ.”

කෙසේ වෙතත් ගුරු වෘත්තිය සමිති මාධ්‍ය වෙත  අදහස් දක්වමින් සඳහන් කළේ, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් කල්මරමින් සිටින බවය.

මේ අතර අමාත්‍යධුර කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව මෙම සතියේ කැබිනට් රැස්වීම අද (17) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැත්වෙන බව වාර්තා වේ.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදුකරනු ලැබීය.

එම අමාත්‍යධුර සංශෝධනයෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *