මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවය.
ජනවාරි මස 23 සහ 24 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා විසින් මෙම ලිපිය කතානායකවරයා වෙත යොමුකර තිබේ.
එමඟින් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, මෙම පනත් කෙටුම්පතේ බහුතර වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් එය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බවය.
ලොව අනෙකුත් රටවල මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් සහ පුළුල් මහජන අවකාශයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන අතර රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරිමෙහි ලා එවැනි පිළිගත හැකි ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.
යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වුවහොත් එමඟින් පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් හිමිවන අතර එමඟින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවිය හැකි බවද විපක්ෂ නායකවරයා යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
එමෙන්ම විපක්ෂ නායකවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මෙම පනත මඟින් සමාජ මාධ්‍ය ජාලයන්හී සැබෑ ලෙස වින්දිතයින් ආරක්ෂා කරනු වෙනුවට සිදුවිය හැක්කේ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පමණක් බවය.
එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් සියලු දෙනාට පිළිගත හැකි හා ප්‍රායෝගික පනත් කෙටුම්පතක් නැවත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගැනීම වෙනුවෙන් මෙම විවාදය කල් දමන ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් වේ.