සංජීව ඝාතකයාගේ ගිණුමකට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී  වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දීගේ බැංකු ගිණුමකට රුපියල් පනස් දහසක මුදලක් බැර කළේ යයිි කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුගත් අබේසිංහ නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ  ඉසාරා සෙව්වන් දී සැකකාරියගේ බැංකු ගිණුමකට සැකකරු විසින් මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය.

අදාළ ඝාතනය සිදුවූ ආසන්න දිනයකදී මෙම මුදල් ගනුදෙනුව සිදු ව ඇති බවත්, සැකකරුගේ ගිණුමට මෙම මුදල් ඔන්ලයින් මාර්ගය ඔස්සේ ගිණුම් ගතවී ඇති බවත් පැවසීය.

සැකකරුට මෙම මුදල් ලැබුණේ කිසියම් අපරාධ කල්ලි  සාමාජිකයින්ගෙන් දැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් සඳහන් කළේය.

අපි සිංහ නමැති අය මෙම ඝාතන සිද්ධියේ 17 වන සැකකරු ලෙස  නම්කර අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ ගීත් කරුණාරත්න මහතා පෙනී සිටි අතර  තම සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *