ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම මොහොත එළඹ ඇත: රනිල්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමට සුදුසු අවස්ථාවක් ලෙස වර්තමානය පෙන්වා දුන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි දශක කිහිපය තුළ පාර්ශ්වකරුවන්ට සහ පාරිභෝගිකයින්ට සැලකිය යුතු ප‍්‍රතිලාභ අත්කරදීමේ හැකියාව පිළිබඳව විශ්වාසය පළ කළේය.

මෙම ක්ෂේත්‍රයට පිවිසෙන ආයෝජකයින්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ පුළුල් සහ නොසැලෙන ප්‍රතිපත්ති රාමුවක් අපේක්ෂා කළ හැකි බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ජනවාරි 15 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී කැඳවා තිබූ “හරිත තාක්ෂණ සංසදය” අමතමිනි. මෙම උත්සවය Swiss-Asian Commerce විසින් සම්බන්ධීකරණය කරන ලදී.

“බලශක්ති සුරක්‍ෂිත ශ්‍රී ලංකාවකට මග පෑදීම” යන තේමාව යටතේ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු විභවයන් ඉස්මතු කළේය. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා පසුගිය දෙවසර තුළ රජය ගෙන ඇති වැඩපිළිවෙල ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති COP28 සමුළුවේදී ඉදිරිපත් කරන ලද “නිවර්තන කලාප මුලපිරීම” ඇතුළු විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කළේය.

තිරසාර සහ හරිත සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපතිතුමා, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ ජාතියේ අභිලාෂකාමී සැලසුම් සහ අධිෂ්ඨානය අවධාරණය කළේය.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්මේ ප්‍රධාන භූමිකාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එය තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රයත්නවල ප්‍රධාන අංගයක් ලෙසත් බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීමේ තීරණාත්මක පියවරක් ලෙසත් විස්තර කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *