මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.
මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
ප්‍රශ්න මතුව ඇත්නම් සියලුදෙනා එක්ව සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.
මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම පවිත්‍රතා කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.