වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට සතියක කාලයක් දෙයි

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද පැවසීය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද රැස්ව එම තීරණයට එළඹි බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව කී චමිල් විජේසිංහ මහතා ඒ අනුව අයවැය ලේඛනයට  ජනාධිපතිවරයා සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය මාර්තු මස 25 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඒ මහතා කීය.

එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය අප්‍රේල් මස 28 වැනිදා නිකුත් කළ බවත් එම චක්‍රලේඛයේ අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්‍ෂණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වූ බවත් විජේසිංහ මහතා පැවසීය.

රජයේ වෛද්‍ය  නිළධාරින්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අප්‍රේල් මස 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු වගකිවයුතු බලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වූ බව කී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම දීමනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පවා ක්‍රියාත්මක නොකිරීම තුළ සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනයක් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *