විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නඩුවේ කරුණු තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය  .

කඩුවෙල දිසා අධිකරණය මගින් රාජපක්ෂ මහතාගේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්  වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගයන්ට අගති රහිතව මෙම නඩුවේ කරුණු තහවුරු කිරීමට හැකි බව පෙන්වා දුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා පුරවැසියන්ට නීතියේ රැකවරණ ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතියට ගරු කරමින්  විත්තිකරුවන්ට එරෙහි වාරණ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට  පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකාර  රාජපක්ෂ මහතාට සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන තමන්ට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

(14) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් කියා සිටියේ කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය සලකා බැලිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *