රිෂාඩ් ගේ බිරිඳ සහ මාමණ්ඩියගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මොහොමඩ් ෂියාබ්දීන් විසින් ඉදිරිපත්කරන ලද ඇප ඉල්ලීම අද  (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත්කළ මෙම ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සලකා බැලීය.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාවගේ දරුවන් දෙදෙනා මේ වනවිට ඇයගේ මව භාරයේ සිටින බවත් ඇයගේ මව මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවත් දන්වා සිටියේය.

මෙම සැකකරුවන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැති හෙයින් මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් ඇපමත මුදාහරින්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකාර රිෂාද් බදියුදීන් මහතාගේ බිරිඳගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් ප්‍රකාශකරන්නැයි දන්වා සිටියේය.

එහෙත් ඇයගේ පියාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එම සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළාය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනි නමැති 16 හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ එම දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යන අය ලබන 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *