යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම්වලට තල්ලුවක්

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් අදාළ අමාත්‍යවරු තිදෙනා මෙම විරෝධතා ඉදිරිපත් කර ඇත.

යුගදනවි ගිවිසුමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජන බලවේගය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇති උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනීසිට තිබේ.

පසුගිය 06 වනදා මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර එම කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමක් සිදුනොවු බව විමල්, වාසු හා ගම්මන්පිල යන අමාත්‍යවරු විසින් ගොනුකළ විරෝධතා වල සඳහන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම නීතියට පටහැනි බව ඔවුන් පෙන්වාදී තිබේ.

මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර අදාළ සමාගමට ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති බව පෙන්වා දෙන එම අමාත්‍යවරුන් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ද පෙන්වා දී තිබේ.

මෙම පෙත්සම් ලබන 16 සහ 17 වැනිදා සලකා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *