Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට උපත්වලින් 10% ක් නොමේරූ දරු උපත්: දීර්ඝකාලීන වෛද්‍ය රැකවරණයේ වැදගත්කම අවධාරණය කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත දරු උපත්වලින් 10% ක් පමණ නොමේරූ දරු උපත් වන අතර, නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර උපත ලබන එම බිළිඳුන් සඳහා අඛණ්ඩ වෛද්‍ය රැකවරණය සහ දීර්ඝකාලීන පසු විපරම් සේවාවන් ලබාදීමේ දැඩි අවශ්‍යතාව පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නොමේරූ බිළිඳුන්ගේ ජීවිත බේරාගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත්, ඔවුන්ගේ නිරෝගී වර්ධනය තහවුරු කිරීම සඳහා ජීවිතය බේරාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව විශේෂඥයින්ගේ අදහසයි.

නොමේරූ බිළිඳුන්ට පෙනීමේ සහ ශ්වසන ගැටලු ඇතුළුව ඔවුන්ගේ සමස්ත වර්ධනයට හා සංවර්ධනයට බලපාන සංකූලතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. නවජන්ම දැඩි සත්කාර ඒකකවලින් (NICU) පිටව යාමෙන් පසුව පවා එවැනි සංකූලතා මතු විය හැකි බැවින්, ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර හා සහාය ලබාදීම සඳහා අඛණ්ඩ වෛද්‍ය අධීක්ෂණය සහ සංවර්ධන ඇගයීම් අත්‍යවශ්‍ය වේ.

ලෝක නොමේරූ ළදරු දින දැනුවත් කිරීමේ වැඩසටහන

නොවැම්බර් 15 වැනිදාට යෙදුණු ලෝක නොමේරූ ළදරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පෙරිනේටල් සංගමය (Perinatal Society of Sri Lanka) විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකදී නොමේරූ බිළිඳුන් සඳහා දීර්ඝකාලීන රැකවරණයේ වැදගත්කම පිළිබඳව කරුණු ඉස්මතු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, නොමේරූ බිළිඳෙකුගේ ජීවිතය බේරාගැනීමෙන් සෞඛ්‍ය පද්ධතියේ වගකීම අවසන් නොවිය යුතු බවයි. නවජන්ම දැඩි සත්කාර ඒකකවලින් පිටව යන බිළිඳුන්ට නිරෝගී වර්ධනයක් සහ සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා නිසි පසු විපරම් රැකවරණයක් ලැබිය යුතු බව ඔහු පැවසීය.

නොමේරූ බිළිඳුන්ගේ රැකවරණය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය, වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනගන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

නව මාර්ගෝපදේශ මාලාවක් එළිදැක්වේ

නොමේරූ බිළිඳුන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද මෙම වැඩසටහන අතරතුර එළිදක්වන ලදී.

ප්‍රසව හා නාරිවේදය, ළමා රෝග සහ නවජන්ම රැකවරණය පිළිබඳ විශේෂඥයින් එක්රැස් කරන ශ්‍රී ලංකා පෙරිනේටල් සංගමය, පර්යේෂණ, වෘත්තීය සංවර්ධනය සහ විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය තුළින් මාතෘ, කළල සහ අලුත උපන් බිළිඳු සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරයි. නොමේරූ දරු උපත් හේතුවෙන් පවුල්වලට සහ සමාජයට ඇතිවන දීර්ඝකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කර ගැනීම සඳහා ද නොමේරූ බිළිඳුන්ගේ රැකවරණය වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ.

ඔබේ අදහස