ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය විනය මැතිවරණ සමයේ දී බිඳ දැමුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පෙර පැවැති අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇතැයි බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
එහි දී අදහස් දැක්වූ බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සමාජික ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,
“මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් 16ක් සඳහා අපි එක්වුණා. ඒ වැඩසටහන් තුළදී අපි ඉතා හොඳින් ආර්ථිකය ස්ථාවර කළා. එම අවස්ථා අද වගේ අභියෝගාත්මක අවස්ථා වූණේ නැහැ. නමුත් අපි ඒ දේවල් හොඳින් සිදුකළා. කෙසේවෙතත් එම වැඩසටහන් හොඳින් සිදුවෙද්දි, මැතිවරණ චක්‍රය එහි අවසානයට එක්වීම නිසා සියලු දේ විනාශ වුණා. මන්ද අපිට තිබුණු විනය නැති වී යාම හේතුවෙන් නැවත අපිට ආරම්භ වූ තැනටම යන්න සිදුවුණා. ඒ නිසයි අපිට 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යෑමට සිදුවුණේ. අපි දැන් නිවැරදි තැනට පැමිණ තිබෙනවා. අපි හොඳ පදනමක් සකස් කරගෙන තිබෙන්නේ. දැන් මැතිවරණය පැමිණෙනවා. අපිට එකම දේ නැවත වරක් සිදුකරන්න බැහැ. අයින්ස්ටයින් වරක් පැවසුවා එකම දේ නැවත නැවතත් කරමින් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව. ඒ නිසා මම හිතන්නේ අපට මෙම පණිවිඩය මගින් පවසන දේ තේරුම් ගත යුතුයි. ඒ වගේම අපි එකම මඟ නැවත ගමන් නොකිරීමට පියවර ගත යුතුයි. මම ප්‍රාර්ථනා කරන්නේ මෙවර එය වෙනස්වෙයි කියලා. ඒ වගේම අපි පාඩමක් ඉගෙනගත යුතුයි අපි වසර කිහිපයකට පෙර මුහුණ දුන් අර්බුදයේ ගැඹුරු බව පිළිබඳවත්”