මැතිසබේ වින්දිත නිලධාරිනියගෙන් පැය 5ක ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ  ප්‍රධානත්වයෙන් යුතු කමිටුව වින්දිත නිලධාරිනියගෙන්  පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර  ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම කම්ටුව සිය විමර්ශන ආරම්භ කරමින් වින්දිත නිලධාරිනියගෙන්  මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

නිලධාරිනිය වසර දාහතක කාලයක් පුරා සිදුව ඇතැයි පැවසෙන   එම  සියලුම හිංසන සිද්ධීන්වලට අදාළ සාක්ෂි රැසක්  කමිටුව හමුවට  ඉදිරිපත් කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා   කමිටුව ලබන 25 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

හිංසන ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් සිවු දෙනාගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීම ඉන් පසුව කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාමික විනිසුරු අලහප්පෙරුම මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් දින කිහිපයක් පුරා විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව  සිය අවසන් වාර්තාව කතානායකවරයාට භාරදීමට නියමිතය.

සේවකයන්ගේ ඉල්ලීම්  අනුව කතානායකවරයාගේ දැනුම් දීම මත මෙම බාහිර විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි.

කමිටුව පත් කිරීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක සභාවද අනුමැතිය  දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *