පොලිස් සැරයන්ගේ සංවිධානාත්මක කල්ලිය

පොලිස් භෝජනාගාරවලට ලැබෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුලා කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන් වරයෙකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරී කරන නිලධාරියෙකු බවත් තවත් වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිත අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

රාජගිරියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ලබාදී  තමන් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක්  බව පවසමින් ව්‍යාජ  හිතවත්කමක් ඇතිකරගෙන දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරයට ලැබෙන බිත්තර තොගයක් ඉතා අඩු මුදලට ලබා දිය හැකි බව පවසා එම ව්‍යාපාරිකයාව  කැමති කරවාගෙන  බිත්තර  තොගය ලබා දීමට දෙමටගොඩට ගෙන්වාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයා බිත්තර තොගය රැගෙන යාම සඳහා ලොරියක් ද සූදානම් කරගෙන දෙමටගොඩට පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සෙසු සැකකරුවන් දෙදෙනා ලොරිය   වෙත ගොඩ වී මඳ වේලාවක් කතා බස් කරමින් සිට ඔහු රැගෙන පැමිණි රුපියල් 80000ක මුදල   ලබාගෙන බිත්තර  රැගෙන එනතුරු ලොරිය දෙමටගොඩ ප්‍රදේශයේම ස්ථානයක් පවසා  නතර කර තබාගන්නා දන්වමින් එම මුදලුත් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැරයන්වරයා  උඩුගම්පල කෙහෙල් බද්දර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි  පුද්ගලයෙකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා මාළිගාවත්ත ප්‍රතිභා මාවත හා පෑලියගොඩ දුටුගැමුණු මාවත පදිංචි වයස අවුරුදු 44 හා 45 අතර පසුවන්නන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *