tiran

පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂක ඇමතිගෙන් අවවාද

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

අදාළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතාට ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් එලෙස අවවාද කර ඇති බව වාර්තා වෙයි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතාට සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

මින් ඉදිරියට එවැනි ක්‍රියාවක් සිදුනොවීමට වගබලා ගන්නා බවට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ටැටු ආයතනයේ හිමිකරුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

සැකකරු විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එම ආරක්ෂාව ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

එම සැකකරු මේ වනවිට කොළඹින් බැහැර වෙනත් බන්ධනාගාරයක විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව සඳහන්ය.

අනෙක් සැකකරුවන් 6 දෙනා කොළඹ බන්ධනාගාරයේ රඳවා තබා ඇති බව ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *