කතෝලික සහ ක්රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයේ 6 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (21) දිනයේ ක්රියාත්මක කරන බව ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැවසීය.
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරෙන් පෙරවරු 7.00 ට ඇරඹෙන යැදුම් පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කරයි.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා, සර්ව ආගමික නායකයින්, තානාපතිවරු සහ පාස්කු ප්රහාරයේ වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් පාස්කු ප්රහාරයේ ප්රධාන සැමරුම පෙරවරු 8.30 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වේ.
එම සැමරුමට සමගාමීව පෙරවරු 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්ධතාවය රැකීමට නියමිතය.
මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි යන හිමිපාණන්ලාගේ ප්රධානත්වයෙන් පෙරවරු 8.15 සිට දේවමෙහෙය පැවැත්වේ.