ධාන්‍ය වියලීමට අලුත් යන්ත්‍රයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වී,බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම  නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.

මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බව  කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විවෘත කරනු ලැබීය.

මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබේ. රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *