පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (23) පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ සභාපති ලෙස පත්කරනු ලැබ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාය.
එහි සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
මෙම කමිටුව අද හෙටම වැඩ අරඹනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම කමිටුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතා පත්කර ඇත්තේ අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වයෙනි.
මෙම කමිටුව හමුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඉදිරියේදී කැඳවෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය8 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට බාරදිය යුතුව ඇත. පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.