දිඹුලාගල සෙල්ලිපියේ වාර්තාව භාරදෙයි

මෙරටින් සොයාගත් විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපියේ තොරතුරුවලින් සටහන් කර ගැනීමට හැකිවුයේ සියයට 40 ක පමණ කොටසක බව සෙල්ලිපිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පත් කළ කමිටු සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ(8) පැවසීය.

සෙල්ලිපියේ ඉතිරි සියයට 60 ක ප්‍රමාණය දෝෂ සහිත බැවින් කියවීමට අපහසුතාවයක් ඇති අතර එය වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවත් මහචාර්වරයා කීය.

කියවා අවසන් කර ගැනීමට හැකි වූ සෙල්ලිපි කොටස පුරාවිද්‍යාත්මක සාධක සහිත බොහෝ කරුණු නිගමනය කර ගැනීමට හැකි වී තිබෙන බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහාචාර්යවරයා එසේ පැවසීය.

මෙම සෙල්ලිපිය මඟින් ජනාවාසයක් , මැණික් කර්මාන්තය, කුමාරවරයෙක්, ගම් පාලකයෙකු හෙවත් ග්‍රාම නිලධාරී පුද්ගලයෙක් , භික්ෂූන් වහන්සේලා, වෙළෙඳ ආයතයනයක්, දාගැබක් ආදී මුලාශ්‍රයන් 10 ක් පිළිබඳව කරුණු හෙළි කරගෙන ඇති බව කමිටු සම සභාපති ආචාර්ය මාලනී ඩයස් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සෙල්ලිපිවලට වඩා වෙනස් තේරුම් තිබෙන පද මෙම දිඹුලාගල සෙල්ලිපියෙහි ඇතුලත් බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කර ඉදිරියේදී තවත් කරුණු ඉදිරිපත් කරන බව ද මාලනී ඩයස් මහත්මිය සඳහන් කළාය.

යම් යම් පුද්ගලයන්ගේ විවිධ මත සෙල්ලිපිය සම්බන්ධව තිබුණද විද්වත් කමිටුවේ මතය පිලිගන්නා අතර මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් තව දුරටත් හැදෑරීමක් කළ යුතු බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය. ජනතාවට මෙහි පිටපත බැලීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව ද සලසා දෙන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කීය.

දිඹුලාගල සෙල්ලිපිය කියවීම සඳහා පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් / පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්( වැඩ බලන) කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙහිදී පිළිගැන්වූවාය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලේකම් සෝමරත්න විදානපතිරණ , පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ, (නාණක හා අභිලේඛණ ) බුද්ධි නාගොඩවිතාන යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *