දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මෙරට පවුලකට සිය ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් රුපියල් 47,107.55 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම මාසයේදී ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 57,507.67 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්විණ.

පවුලක මාසික සාමාන්‍ය ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසය සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවත් මාසික සාමාන්‍ය ආහාර නොවන වියදම පසුගිය මාසවලට සාපේක්ෂව සුළු වෙනස්කමක් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මෙම වසරේ පෙබරවාරි මාසයේදී ආහාර නොවන මාසික සාමාන්‍ය වියදම සියයට 6 කින් අඩුවී ඇති බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

සියලුම දේශීය සහල් වර්ගවල සාමාන්‍ය මිල ගණන් පසුගිය මාර්තු මාසයේදී සැලකිය යුතු ලෙස වෙනස් වී නොමැති බවත් දේශීය නාඩු කිලෝවක මිල පසුගිය මාර්තු මාසයේදී රුපියල් 243 ක් ලෙස සටහන් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සහ 2024 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8 ක මිල ඉහළ යාමක් බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

කීරි සම්බා හැර අනෙකුත් බොහෝ සහල් වර්ගවල මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *