දැවැන්ත යතුරුපැදි ජාවාරමක් හෙළිවෙයි

යුක්තිය මෙහෙයුම යටතේ තවත් දැවැන්ත ජාවාරමකට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකි වී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන, චැසි සහ එන්ජින් අංක වෙනස් කර සමාජ මාධ්‍යය හරහා අලෙවි කළ ජාවාරමක් එලෙස වටලා ඇත.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එම සැකකරුවන් සමඟ යතුරුපැදි 19ක්, ලියාපදිංචි අංක තහඩු 14ක් පොලිස් භාරයට ගෙන ඇත.

කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලීසිවලට වාර්තා වී තිබූ යතුරුපැදි සොරකම් 02ක් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී මෙම ජාවාරම පිළිබඳ හෙළි වී තිබේ.

ඒ, නුගේගොඩ, තලපත්පිටිය, පන්සල පාර නේවාසිකාගාරයක රැඳී සිටි පුද්ගලයෙකු යතුරුපැදි 03ක් සහ ලියාපදිංචි අංක තහඩු අටක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ය.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ ගම් ප්‍රදේශය වන ගාල්ල කලහේ නිවස තුළ සඟවා තිබූ සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සහ ලියාපදිංචි අංක තහඩු 06ක් සොයාගෙන තිබිණි.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු තඹුත්තේගම හා වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් හෙළි කළ තොරතුරු මත කුරුඳුවත්ත, බම්බලපිටිය, කොටුව, පිටකොටුව, වැලිකඩ, මහරගම සහ ගාල්ල ප්‍රදේශවලින් සොරාගත් යතුරුපැදි 19ක් සොයා ගැනීමට හැකි වී ඇත.

තඹුත්තේගම සහ වෙන්නප්පුව ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකු ද සම්බන්ධ කරගනිමින් එම යතුරුපැදිවල එන්ජින් සහ චැසි අංක වෙනස් කර කූට ලේඛන සකසා සමාජ මාධ්‍යය හරහා දැන්වීම් පළ කර අලෙවි කර ඇති බව පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මෙම සංවිධානාත්මක ජාවාරම සඳහා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇති අතර, එම පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *