ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකළ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව අදාළ ධීවර යාත්‍රාව ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ පරීක්ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 3,190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245කට අධික තොගයක් සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.
මේ අතර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 8ක් තුළ පාර්සල් 130ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 189යි ග්‍රෑම් 388ක පමණ තොගයක් සහ පාර්සල් 48ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 55යි ග්‍රෑම් 648ක පමණ තොගයක් ද එම බහුදින යාත්‍රාවේ තිබී සොයාගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28 ත් 66 ත් අතර වන ගාල්ල, බේරුවල සහ ගල්ගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් අද දින උදෑසන ගාල්ල වරායේදී නිරීක්ෂණය කිරීම සිදුකෙරිණි.