ගමේ අයගේම උදව්වෙන් ගම සංවර්ධනය කරන වැඩක් අරඹයි

ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා  ජාතික ව්‍යාපෘතියට සමගාමීව එහි අරමුණු දීප ව්‍යාප්තව සාක්ෂාත්  කර ගැනීම සඳහා උපාය මාර්ගික මෙවලමක් වශයෙන් 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් ( පවුල් 50ක් ආසන්න වශයෙන් පදිංචි) බැගින් තෝරා ගෙන සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශය පදනම් කර ගනිමින් ප්‍රජා ඵලදායි ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන මඟින් අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම, සංස්කෘතිය අධ්‍යාත්මක සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය යන ක්ෂේත්‍ර  යටතේ හඳුනා ගනු ලබන ආදර්ශ නිර්ණායක මත පදනම්ව, තෝරා ගනු ලබන ගම් ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වශයෙන් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් යෝජිත වැඩසටහන සඳහා සුදුසු ගම තෝරා ගැනීම කරනු ලබයි. එලෙස තෝරා ගනු ලබන සෑම ගමක්ම නියෝජනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු රේඛීය අමාත්‍යාංශ වලට අයත් සියලු ක්ෂේත්‍ර නිලධාරීන් බල ගන්වමින් ඔවුන් හරහා ගමේ ජනතාවගේ අවශ්‍යතාවන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සම්පුර්ණ කිරීම මෙම වැඩසටහන යටතේ අපේක්ෂිතය.

ඒ අනුව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *