කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම) 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝටි 34 කට වැඩි මුදලක් නාස්තිවී අැතැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය
රුපියල් කෝටි 76 ක මුදලක් වැඩිපුර ගෙවා නිම කරන ලද ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගයෙන් (Remote Apron and Taxiways) බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට නොහැකිවූ බව කෝප් කාරක සභාව පවසයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේදී සිදු කළ සැලසුම වෙනුවට එම ධාරිතාව මිලියන 15 දක්වා වැඩිකිරීමට නැවත 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම (AASL) පළමු සැලසුම සඳහා වැය කර තිබු රුපියල් මිලියන 344.5ක වියදම අනාර්ථික වූ බවටද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මෙම සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් 2007 වර්ෂයේදී ජපන් හවුල් සමාගමක් තෝරාගෙන තිබිණි.
මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
තවද, සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමඟ 2014 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරනු ලැබූවද සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් විවිධ අවස්ථාවන්හී සැලසුම් වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 178,589ක්, ජපන් යෙන් මිලියන 1, 612.4ක්, සහ රුපියල් මිලියන 808.6ක් ගෙවීමට සිදුව තිබු අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබු බවට ද කාරක සභාවේදී අනාවරණය විය.