ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි

ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත්  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83  (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ  පැවති මාධ්‍ය  හමුවකදී එසේ පැවසීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල ඊයේ දින සිට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවෙන් නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්ති ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් ඒ මහතා කීය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් එය සම්මත වුවහොත් දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියෙන් එය ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්ය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා ගැසට් කළ නොමැති බව කී ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරළ ක්‍රියාදාමයක් නොව එය සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව වන දෙයක් බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබේදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුව මැතිවරණවලට ඇති භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොම්ෂන් සභාව තව දින 13 ක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *