’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට දුන් පොරොන්දු මෙන්ම ජනතා අපේක්ෂාවන්ට පයින් ගැසූ මාලිමා ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට ගමේ ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී රට සුබ නැකැතින් අනුරට බාර දුන්නත් අද වන විට ටොම් පච දේශපාලනය රට පුරා කප් ගහන බවත් ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ (23)පැවති ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා කීවේය.

සෑම මොහොතකදීම ජනතාව රවටන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරනයේදී හා මහමැතිවරණයේදී ජනතාව පිට පිට දෙවතාවක් රවටා තුන් වැනි වතාවටත් ටොම් පච දේශනා කරනා නායකයන්ට ගම බාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාලිමා රජය අද වන විට බොරු කීමෙන් ලෝක වාර්තා තබා ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප රු 20000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි පැවසුවත්  මේ සියලු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය.

මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරන බවත් පළාත් පාලන ආයතන පනතවත් නොදැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ.

බලය තිබුණත් නැතත් රජයේ මුදල් තිබුණත් නැතත් සමගි ජන බලවේගය රටට සේවාවක් ඉටු කරන බවත් එම නිසා බිය නොවී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *