අද සිට විශේෂ ජංගම එන්නත්කරණය

විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව පැවසීය.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භවීමට නියමිතය.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබේ.

මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචිවීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

එමෙන්ම යුද හමුදාව විසින් කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යෑමට නියමිතය.

මේ අතර වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් විද්‍යානුකුල පර්යේෂණ සිදුකර නිර්දේශ ලබාදෙන ලෙස විශේෂඥයින් වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *