විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන අඩු කිරීමට පසුගිය රජය කටයුතු කිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පවත්වන ලද විරෝධතාවට බාධා කරමින් පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොවූ බැවින් යළි නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරේරාජා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්වීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකාවන් දෙදෙනකු සහ නීතිඥවරියන් දෙදෙනකු ගොනුකොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස්ථාන වල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු නම් කර ඇත.
2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීමට සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බව පෙත්සම්කාරියෝ සඳහන් කරති.
තමන්ගේ සාමකාමී විරෝධතාවයට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිස් නිලධාරීන් ජල ප්‍රහාර එල්ල කළ බවත් එහිදී කාන්තාවන් කිහිප දෙනෙකු අමානුෂික සැලකීම් වලට ලක් වූ බවත් සඳහන් කරන පෙත්සම්කාරියෝ පොලිසියේ මෙම ක්‍රියා කලාපය අතනෝමතික සහ අසාධාරණ බවද පෙන්වා දෙති.
පොලිසියේ මෙම අතනෝමතික සහ අසාධාරණ ක්‍රියා කලාපය හේතූවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ අයිතිය ඇතුළු තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරියෝ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් දස ලක්ෂය බැගින් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ජූනි 19 වැනිදා කැඳවීමට නියම කළේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වකිෂ්ටආරච්චි මහත්මිය පෙනී සිටියාය.